පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ෆිල්ගැස්ට්රිම් එන්නත් හිඟය සහ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය ජූලි මස සිට රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම ඖෂධයේ හිඟයක් පවතින බවය.
මෙරට වාර්ෂික ෆිල්ගැස්ට්රිම් එන්නත් අවශ්‍යතාව ලක්ෂ 3ක් වන අතර, මහරගම අපේක්ෂා රෝහල සඳහා පමණක් මාසිකව එන්නත් 9,750ක් සහ දෛනිකව එන්නත් 325ක් අවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2026 වසර සඳහා ඇණවුම් කරන ලද එන්නත් 160,000ක තොගය පසුගිය ජූලි 28 වන දින මෙරටට ලැබුණද, එය ලියාපදිංචි ඖෂධයේ අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රතික්ෂේප වී තිබේ.
අදාළ එන්නත් තොගයේ ප්‍රී-ෆිල්ඩ් සිරින්ජයේ ලේබලය මුද්‍රණය කර නොතිබීම එය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අදාළ ඖෂධ තොගය නැවත ලේබල් කිරීම සඳහා චීනයට යවා ගෙන්වා ගැනීමට සති 6ක පමණ කාලයක් ගතවන බැවින්, පවතින හිඟයට පිළියමක් ලෙස ඉල්ලුම් කළ රෝහල් සඳහා ප්රාදේශීයව මිලදී ගැනීම් සිදු කිරීමට අවසර ලබාදී තිබේ.
එමෙන්ම පිළිකා සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අදාළ එන්නත් තොගය භාවිතයට ගැනීමට ඇති හැකියාව පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් රුපියල් 17,000ත් 23,000ත් අතර මුදලකට මෙම එන්නත් මිලදී ගැනීමට සිදුව ඇති බැවින්, වහාම විධිමත් විසඳුමක් ලබාදෙන ලෙස මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

