මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 475කට අධික වටිනාකමින් යුත් දේපොළ සහ වාහන රැසක් ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදාගෙන දේපොළ සහ වාහන මිලදීගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
එහිදී ඔහුගේ බිරිඳගේ නමින් නව නගරය, පදවිය ප්‍රදේශයෙන් මිලදීගෙන ඇති රුපියල් ලක්ෂ 275ක් පමණ වටිනා පර්චස් 15ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති දෙමහල් ගොඩනැගිල්ලක් හඳුනාගෙන ඇත.
මීට අමතරව, විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා පර්චස් 15ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති නිවසක්, රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා බට්ටා ලොරි රථයක්ද විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් 47 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දේපොළ සහ වාහන ඇතුළත් රුපියල් ලක්ෂ 475ක් පමණ වටිනා වත්කම් 2026 සැප්තැම්බර් 22 වනදා සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

