දූෂණ චෝදනාවක් සම්බන්ධව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර ගණනකට සිරදඬුවම් නියම කර තිබූ හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන විභාගය අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තෙවන දිනයටත් ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වේ. සෙසු සාමාජිකයින් වශයෙන් ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරති.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අද (11) දින විභාගය ආරම්භ කර කරුණු ඉදිරිපත් කරමින් සිටියහ. විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුගේ දේශන ඊයේ අවසන් කරනු ලැබුවේය.
2015 ජනාධිපතිවරණය සමයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර, ඒවා කාර්යාලවලට බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 6ක් ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් නඩු පවරා තිබුණි.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව විභාග කිරීමෙන් පසු, මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ නලින් ප්‍රනාන්දු මහතාට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
හිටපු අමාත්‍යවරු දෙදෙනාම තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ ඇපෑලේ විභාගය අද (11) තෙවන දිනයේ ඇරඹේ

