Thursday, November 13, 2025
Homeදේශපාලනමහ බැංකුව රුපියල් බිලියන 27ක් අච්චු ගසයි

මහ බැංකුව රුපියල් බිලියන 27ක් අච්චු ගසයි

පසුගිය ජූනි 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ.

මහ බැංකුව පවසන්නේ මුහුණත වටිනාකම රු. මිලියන 27,875.27 කින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් මෙලෙස තමන් වෙත නිකුත් කෙරුණු බවයි. මෙම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ පොත් අගය රු. මිලියන 27,000 කි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මූල්‍යයනය කිරීම ද ඇතුළු හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීමක් සිදුකරනු ලබන අතර ඊට “සල්ලි අච්චු ගැසීම” යන සාමාන්‍ය ව්‍යවහාර භාවිත වේ.

මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.

රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය.

එසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ. එබැවින් පසුගිය බදාදා (15) දිනයේ දී සිදු වී ඇත්තේ ද එවැන්නකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments