Friday, January 23, 2026
Homeදේශීයමැතිසබේ සේවිකාවන්ට සාරිය අනිවාර්යයි

මැතිසබේ සේවිකාවන්ට සාරිය අනිවාර්යයි

පාර්ලිමේන්තුවට පැමිණීමේදී සහ පිටවීමේදී සාරියෙන් සැරසී පැමිණිය යුතු බව පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලු ම සේවිකාවන්ට එම අංශ ප්‍රධානීන් දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට ඇතැම් නිලධාරීන්ගෙන් එල්ලවී ඇතැයි පැවැසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබිණි.

ඒ අනුව ඊට අදාළ විමර්ශන පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙතෙක් සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණි ගෘහ පාලන අංශ ප්‍රධානීන් එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත් සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් සිය රාජකාරියේදී එම සේවිකාවන් නිල ඇඳුමින් සැරසී සුපුරුදු පරිදි රාජකාරිය ඉටු කිරීමට අවසර දී තිබේ.

ඇතැම් සේවිකාවන් මෙම සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ මීට පෙර තහනම් කරනු ලැබිණි.

සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව ද සේවිකාවන් ඇතුළු පහළොවකට වැඩි පිරිසක් එම කමිටුව හමුවේ පෙනී සිට දැනට සාක්ෂි ලබාදී ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර එම ත්‍රිපුද්ගල කමිටුවට පසුගිය දා නියෝග කළා ය

RELATED ARTICLES

Most Popular

Recent Comments