Homeසියලුම පුවත්මෙට්‍රෝ බස් රථයට හානි කළ බවට සැකපිට රියදුරෙකු අත්අඩංගුවට

මෙට්‍රෝ බස් රථයට හානි කළ බවට සැකපිට රියදුරෙකු අත්අඩංගුවට

කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක් කළ බවට සැක කෙරෙන බස් රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 යටතේ ධාවනය වන හොරණ – කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි.

පොලිසිය පවසන පරිදි, කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුඛෝපභෝගී බස් රථය කැස්බෑව හන්දියේ සිට ප්‍රධාන ලාම්පු දල්වමින්, නළාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් ගමන් කර ඇත.

පසුව මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථය ඉස්සර කළ අවස්ථාවේදී සුඛෝපභෝගී බස් රථයේ පිටුපස කොටස මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුවට හානි සිදුව තිබේ. එම හානියේ වටිනාකම රුපියල් 342,000ක් ලෙස තක්සේරු කර ඇති අතර, අනතුර සිදුවන ආකාරය අසල CCTV කැමරාවක ද සටහන් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද (10) පොදු දේපළ පනත යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments