Homeසියලුම පුවත්රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ආරම්භ වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ආරම්භ වෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වසරට අදාළ ඇසළ මංගල්‍යය අද (15) සිට නිල වශයෙන් ආරම්භ වෙයි.

ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (14) රාත්‍රියේ දේවාල භූමියේ පිහිටි පිරිත් මණ්ඩපයේදී පැවැත්විණි.

මෙම පින්කම රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ අතර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ මෙහෙයවීමෙන් එය පැවැත්විණි.

අවස්ථාවට කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා, දේවාලයේ ප්‍රධාන කපුධුරන්ධර සරත් සේපාල ටී. රත්නායක මහතා, කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

මෙවර පෙරහැර මංගල්‍යය දින 15ක් පුරා පැවැත්වෙන අතර, ජූලි 29 වැනිදා රාත්‍රියේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ජූලි 30 වැනිදා උදෑසන මැණික් ගඟේ දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු නිල වශයෙන් අවසන් කෙරෙනු ඇත.

මේ වන විට පාද යාත්‍රාවෙන් පැමිණ ඇති බැතිමතුන් 24,568 දෙනෙකු කතරගම පූජා භූමියට ළඟා වී ඇති බව ද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments