මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් රට තුළදීම නිෂ්පාදනය කර ගැනීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන යල කන්නයේ අස්වැන්න මගින් මෙරට වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 50ක් සපුරා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000ක් පමණ වන අතර, ඉතිහාසයේ වැඩිම ලොකු ලූණු නිෂ්පාදනයක් 2014 වසරේදී වාර්තා වී ඇත. එම වසරේ හෙක්ටයාර් 6,000කින් මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ අස්වැන්නක් ලබාගෙන තිබේ.
කෙසේ වෙතත් නිෂ්පාදන වියදම් ඉහළ යාම සහ අඩු මිලට ආනයනික ලොකු ලූණු වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත් වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් ගොවීන් නැවත ලොකු ලූණු වගාවට යොමු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.
නව තාක්ෂණය යොදාගෙන අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න ඉහළ නැංවීම සහ අඩු නිෂ්පාදන වියදමකින් වගා කටයුතු සිදු කිරීම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහ පුහුණු අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.
ඒ අනුව එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් අපේක්ෂිත ඉලක්කය කරා ළඟාවීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

