අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කරමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයෝ එක්වූහ.චීනයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වන බව චීන තානාපතිවරයා සහ Huawei නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.යෝජිත තාක්ෂණය යටතේ වනඅලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගත හැකි AI තාක්ෂණයෙන් බලගැන්වූ කැමරා පද්ධති භාවිත කිරීමට නියමිතය.ඒ හරහා වනඅලින් ගම්මානවලට ඇතුළුවීමට පෙර ඔවුන්ගේ පැමිණීම හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වනඅලින්ගේ සංචරණ රටා, ගම්මානවලට ඇතුළුවන මාර්ග සහ කැමරා පද්ධති සවි කිරීමට සුදුසු ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇත.චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් යොදාගත හැකිද යන්න සොයාබැලීම මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

