Sunday, January 25, 2026
Homeweatherවැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක්

වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් ශක්තිමත් වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ජනවාරි 08 වැනිදා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, ඌව පළාත, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං හමන අවස්ථා ඇති විය හැකි බවද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments