Homeසියලුම පුවත්හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නෞකා දෙකකට මිසයිල ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නෞකා දෙකකට මිසයිල ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ඉලක්ක කර එල්ල වූ කෲස් මිසයිල ප්‍රහාරයකින් එක් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් අටදෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වන අතර, තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් සහ දෙදෙනෙකු යුක්රේන ජාතිකයින් බව ද වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මොම්බාසා සහ අල් බහියා නමැති තෙල් ප්‍රවාහන නෞකා ඕමාන් මුහුදු සීමාවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ දකුණු නාවික මංතීරුව ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයා මොම්බාසා නෞකාවේ සේවය කළ අයෙකු බව ද සඳහන් වේ.

ප්‍රහාරයත් සමඟ නෞකා දෙකෙහිම ගින්නක් හටගෙන ඇති අතර, එමගින් නෞකා දෙකට සැලකිය යුතු හානි සිදුව ඇති බව ද වාර්තා වී තිබේ.

මෙම සිද්ධිය “නිර්ලජ්ජිත ප්‍රහාරයක්” ලෙස හඳුන්වා ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊට ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය තමන් සතු බව ප්‍රකාශ කර ඇත.

තවද, රටේ ආරක්ෂාවට එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා සිය ආරක්ෂක අංශ සූදානම්ව සිටින බවත්, ජාතික ආරක්ෂාව අස්ථාවර කිරීමට දරන ඕනෑම උත්සාහයකට දැඩි පියවර ගන්නා බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments