ලෝක අලි දිනය අදට (12) යෙදී තිබේ.
පාරිසරික පද්ධතියේ වැදගත් සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන වනඅලීන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීම මෙම දිනයේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම හේතුවෙන් වසරකට වනඅලි 400කට අධික සංඛ්‍යාවක් මියයන අතර මිනිස් ජීවිත 200කට ආසන්න සංඛ්‍යාවක්ද අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
මෙම වසරේ මේ දක්වා වනඅලි මරණ 180ක් සහ මිනිස් මරණ 56ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
එම වනඅලි මරණවලින් 75ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති අතර, වෙඩි තැබීම්, විදුලි සැර වැදීම් සහ හක්කපටස් යොදා ගැනීම වැනි ක්‍රම ඒ අතර වේ.
මේ අතර ඊයේ (11) අඹන්පොල නැලව ප්‍රදේශයේදී තම කුඹුරට පැමිණි වනඅලීන් පළවා හැරීමට උත්සාහ කළ 43 හැවිරිදි පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
වනඅලි සහ මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් අවශ්‍ය බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

