‘අග්බෝ’ සොයා මෙහෙයුම් අද දෙවන දිනටත්’අග්බෝ’ ඇතා සොයා ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව ක්රියාත්මක කරන සෝදිසි මෙහෙයුම් අද (19) දෙවන දිනටත් ආරම්භ කර තිබේ.අද පෙරවරු 7.15ට පමණ නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු එක්ව සිටිති.21 වන පාබළ සේනාංකයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ නායකත්වයෙන් මෙහෙයුම් ක්රියාත්මක වන අතර, මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු නිලධාරීන් ද ඊට සහභාගී වී සිටිති.ඊයේ (18) ඒරුවැව ප්රදේශයේ සිට ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් අග්බෝ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට ගමන් කළ බවට ලැබුණු තොරතුරු මත අද එම රක්ෂිතය ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ.මෙම මෙහෙයුම් සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ ඩ්රෝන යානයක් සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඩ්රෝන යානා දෙකක් ද යොදා ගැනීමට නියමිතය.අග්බෝ ඇතා සොයා දින කිහිපයක් තිස්සේ සිදුකරන මෙහෙයුම් පිළිබඳව අදහස් දක්වන වනජීවී නිලධාරීන් පවසන්නේ ඇතා මද කිපුණු තත්ත්වයක පසුවන බවත්, වේගයෙන් ගමන් කරමින් සිටින බවත්ය.කෙසේ වෙතත්, අග්බෝ ඇතාට කිසියම් අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සමීප නිරීක්ෂණයකින් පසුව තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාසය පළ කරති.මේ අතර, තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ද මෙහෙයුම් සඳහා අවශ්ය මඟපෙන්වීම් ලබා දෙමින් සිටිති.

