Monday, February 3, 2025
Homeදේශපාලනතොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස්...

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙක් දන්න නමක් බවට පත්වෙලා තියෙන්නේ

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙක් දන්න නමක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේ අපවත් වූ පසුවත් දේහයේ කොණ්ඩය, රැවුල සහ නියපොතු වැවීමත්, සිරුර නොදිරා තිබීමත් කියන කාරණා මේ සියල්ල සමග සම්බන්ධ වුණු හරි අපූරු කතා පුවතකුත් උන්වහන්සේගේ ජීවිත කතාව ඇතුළේ තියෙනවා. ඒ කතාව අපිට කියන්නෙත් අපේ වැඩිහිටියෝ, අම්මලා, තාත්තලා. කතාවේ හැටියට මේ සිදුවීම වෙලා තියෙන්නේ රාහුල හාමුදුරුවෝ පුංචි කාලෙදිමයි.

ඒ කාලෙ පුංචි රාහුල හාමුදුරුවෝ වැඩසිටියේ වීදාගම මෛත්‍රිය හාමුදුරුවන්ගේ පන්සලේ. යන්ත්‍ර මන්ත්‍ර වගේම වෙදකම ගැනත් පරතෙරටම දැනගෙන හිටපු වීදාගම හාමුදුරුවෝ තමයි රාහුල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ වුණේ.

වීදාගම හාමුදුරුවන්ට යන්ත්‍ර මන්ත්‍ර ගැන කොයි තරම් දැනීමක් තිබුණාද කියලා කිව්වොත් තමන්ගේ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු කරන්න මිනිසුන්ට කරන්න බැරි බොහෝ වැඩ යක්කු බැඳගෙන කරගන්න තරම් උන්වහන්සේ දක්ෂ වුණාලු. ඒ කාලේ යක්කු ලවා ගෙන්වා ගත්තු මහා ගල්කණු, ගල් කුට්ටි එදා වීදාගම හාමුදුරුවෝ වැඩසිටි තෙල්වත්ත පන්සලේ තාමත් තියෙනවලු.

ඊළඟ කාරණය තමයි වීදාගම හාමුදුරුවන්ට ධර්ම දේශනා කිරීමේ විස්මිත හැකියාවක් තිබුණලු. කවදාවත් කිසිම ධර්ම දේශනයකදි වීදාගම හාමුදුරුවන්ට වචන පැටලෙන්නෙ නැහැ. වචන අමතක වෙන්නෙ නැහැ. කොළයක් බලාගෙන කියනවා වගේ හරි අපූරුවට මුල ඉඳලා අගටම ධර්මය දේශනා කරනවා පැයක්, දෙකක් තුනක් වුණත්. ඒ විදියමයි. ඒත් මේ විදියට ධර්ම දේශනා කිරීමේ රහසක් තිබුණා. ඒ රහස දැනගෙන හිටියේ පුංචි රාහුල හාමුදුරුවො විතරයි.
හැමදාම ධර්ම දේශනයකට යන්න කලින් ලොකු හාමුදුරුවෝ අල්මාරිය ඇරලා මොනව හරි රහස් දෙයක් කරනවාය කියන සැකේ රාහුල හාමුදුරුවන්ට තිබුණු නිසා උන්වහන්සේ මේ ගැන විපරමෙන් හිටියා. අන්තිමට රාහුල හාමුදුරුවෝ දැනගත්තා ලොකු හාමුදුරුවෝ අල්මාරිය ඇරලා ‘සරස්වතී තෛලය’ කියන තෙල් බෝතලය අරගෙන, ඒකට අශ්ව කෙන්දක් දාලා අරන් එය හත්වරක් ගසලා ඉතිරි වෙන ස්වල්පය දිවේ ගාගෙන ධර්ම දේශනය සඳහා යන්නෙ කියලා. ඒ වගේම එනිසා තමයි වීදාගම හාමුදුරුවෝ අමතක නොවී මතකයෙන් පැය ගණනක් බණ කියන්නෙ කියලත් රාහුල හාමුදුරුවෝ දැනගත්තා.

එදා ඉඳලා රාහුල හාමුදුරුවෝ හිටියේ කුතුහලයෙන්. ඔය අතරේ දවසක් ලොකු හාමුදුරුවන්ට බැරිවීමකින් යතුරු කැරැල්ල දාලා යනවා. එදා පුංචි රාහුල හාමුදුරුවෝ අල්මාරිය ඇරලා සරස්වතී තෛලය බෝතලය අතට අරගන්නවා. අශ්ව කෙන්දකින් දිවේ ගාගෙන ලොකු හාමුදුරුවෝ මෙච්චර හොඳට බණ කියනවා නම් මං මේ බෝතලේ බිව්වාම කොහොම වෙයිද කියලා හිතපු පුංචි රාහුල හාමුදුරුවෝ තෙල් බෝතලේ කටේ තියාගෙන බොනවා. අන්තිමට සිහිසුන්ව අල්මාරිය ළඟ ඇදවැටුණු රාහුල හාමුදුරුවන්ට වීදාගම හාමුදුරුවෝ ආපසු එනකම්ම එහෙමම ඉන්න සිද්ධ වෙනවා.

වීදාගම හාමුදුරුවෝ සිදුවෙලා තියෙන දේ දැනගෙන ඒ ආසන්න ගම් හතේම පුංචි දරුවන්ට කිරිදෙන අම්මලාට පණිවුඩ යවනවා හැකි උපරිමයෙන් තන කිරි දොවාගෙන අරගෙන එන්න කියලා. ඒ කාලේ වීදාගම හාමුදුරුවන්ට මහා ඉහළින් සලකපු ගම්වැසියන් එසැණින් කිරි දොවාගෙන පන්සලට අරන් ඇවිත් තියෙනවා. අවසානයට වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන් බෙහෙත් ඔරුවේ දාලා ඒ ඔරුව තනකිරිවලින් පුරවලා දවස් ගණනක් තියලා තමයි රාහුල හාමුදුරුවන්ට සිහිය අරගෙන තියෙන්නේ.

පස්සෙ කාලෙකදි රාහුල හාමුදුරුවෝ අපවත් වෙනවා. ඒ, ඊට අවුරුදු ගණනාවකට පස්සේ. හැබැයි උන්වහන්සේ අපවත් වුණාට පස්සෙත් කොණ්ඩ, රැවුල, නියපොතු ආදිය වැවෙන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා ඒ කාලේ ජීවත් වූ මිනිස්සු රාහුල හාමුදුරුවන්ගේ දේහයට වැඳුම් පිදුම් කරන්න පටන් ගන්නවා. මේ බව පෘතුගීසි දැනගන්නෙ ඊට පස්සෙයි. අන්තිමට ඔවුන් රාහුල හාමුදුරුවන්ගෙ දේහය බලලා පුදුමයට පත්වෙලා දේහය ගෝවට අරගෙන යනවා.
පෘතුගීසි රාහුල හාමුදුරුවන්ගේ දේහය ගෝවට ගෙනියන්නෙ නිකම් නෙවෙයි. නැවේදි ඔවුන් රාහුල හාමුදුරුවන්ගේ දේහයට මැරුණු පූජකයකුගෙ ඇඳුමක් අන්දනවා. අන්තිමට හැමෝම හිතුවලු මේ ඒ පූජකයාමයි කියලා. හැබැයි මේ කතාවේ වටිනාම දේ තමයි රාහුල හාමුදුරුවන්ගෙ සිරුරේ කෙස්, නිය එවක පටන්ම ක්‍රමයෙන් වැවෙනවාය කියන එක. ඒ අනුව රාහුල හාමුදුරුවන්ගේ ශරීරය මෙසේ නොදිරා තිබෙන්නේ කෙසේද යන්න විමසීමේදී කරුණු දෙකක් කියැවෙනවා. එයින් පළමුවැන්න වනුයේ කුඩා කල සරස්වතී තෛලය පානය කිරීමේ අනුහස නිසා සිරුර නොදිරා තිබෙනවා යන්නයි. ඒත් සමගම කියැවෙන අනෙක් කතාව වන්නේ රාහුල හාමුදුරුවන් මරණයෙන් පසු සිය සිරුර නොදිරා කාලාන්තරයක් පවතිනවායි සිතා ‘සිඳුඅළු රසය’ නැතහොත් ‘සිදුහත් රසය’ නමින් හඳුන්වන තෛලය පානය කළාය යන කතාව. කාරණා දෙකෙන් කුමක් හෝ සත්‍ය වීමෙන් අදටත් උන්වහන්සේගේ සිරුර පියවි ඇසින් දැකගන්නට වාසනාව ලැබී තිබෙනවා.

පෘතුගීසීන්ගේ උපක්‍රමය නිසා ක්‍රිස්තියානි බැතිමතුන් සිය ආගමික ප්‍රචාරකයකු වූ ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් නම් පූජකවරයා යැයි සිතුවද එලෙස නොදිරා තිබෙන්නේ අපේ රාහුල හාමුදුරුවන්ගෙ දේහය බවට සැකයක් නැහැ.

වසර ගණනාවක් පුරා ගෝවේ දේවස්ථානයක රඳවා තබා ලෝකයම වැඳුම් පිදුම් කරන තොටගමුවේ රාහුල හිමියන්ගේ සිරුර සෑම වසර දහයකට වරක් තබා ඇති උස් ස්ථානයෙන් පහළට ගෙන ප්‍රදර්ශනය කරන අතර, එය අවසන් වරට ප්‍රදර්ශනය කර ඇත්තේ 2014 දීය. ඒ අනුව තවත් වසර 3කින් යළිත් උන්වහන්සේගේ සිරුර අසලටම ගොස් නරඹන්නට සියලු දෙනාට අවස්ථාව හිමිවනු ඇත.

කෑගල්ල පුරවරයේ ඉපිද කෝට්ටේ රාජධානියේ වැඩවසමින් සැලළිහිණි සංදේශය, ගිරා සංදේශය, පරවි සංදේශය, කාව්‍යශේකරය ඇතුළු ග්‍රන්ථ රැසක් ජාතියට දායාද කළ උන්වහන්සේ මාතර, ඇල්පිටිය ප්‍රදේශයේදී අපවත් වුවද අද මේ සියලු සීමාවන්ගෙන් දුරස්ව මහ මුහුදින් එතෙර තැනකද ලෝ වැස්සන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ පෙර කළ මහා පුණ්‍යකර්මයකට බව නම් සැකයක් නොවේ. එහෙයින් උන්වහන්සේ ලක්බිමටත්, ජාතියටත් ගෙන දුන්නේ, ගෙන එන්නේ මහා ගෞරවයක් බව මේ මොහොතේ මතක් කළ යුතුමය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments