නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවලට සිදුව ඇති හානිය පරීක්ෂා කර ඒ සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශය සම්බන්ධව රට තුළ ඇති වූ විවිධ අදහස් ගැනීම සඳහාද ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
නිලධාරීන් පැවසුවේ පසුගිය 27 වනදා කොත්මලේ ජලාශයට ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එම නිසා වේල්ල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමයට අනුව වාන් දොරටු විවෘත කළ බවත් ය.
තවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4700ක පමණට හානි සිදුව ඇති අතර, අක්කර 500ක් හැර අනෙකුත් සියලු කුඹුරු මේ වනවිටත් මහ කන්නයට වගා කළ හැකි බවද නිලධාරීන් පෙන්වා දී ඇත.
ජල ගැලීම් සිදුවීමට හේතුව පරීක්ෂා කිරීමේදී ජනාධිපතිවරයාට නිලධාරීන් පැවසූවේ අනවසර ඉදිකිරීම්, ඇළ මාර්ග වැසී පටුවීම සහ ග්‍රෙගරි වැවේ සොරොව්ව ප්‍රමාණවත් ලෙස විශාල නොවීම යන කරුණු බවයි.
මෙම අවස්ථාවේද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා එමඟින් ආර්ථික ක්‍රියාකාරකම් නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙස උපදෙස් දී ඇත.

