Homeසියලුම පුවත්22ට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

22ට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංචරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බව සිවිල් සංවිධානයක් ලෙස සිය ස්ථාවරය වන බව එම සංවිධානය සඳහන් කරයි.

යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මඟින් මෙම මූලධර්මවලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදුකරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිඳභාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදුකළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.

විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධි විධානවලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමත විචාරණයක් මඟින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතු බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේද අවධානය යොමුව තිබීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවත් Commonwealth Lawyers Association (CLA), LAWASIA, International Association of Judges (lAJ) ඇතුළු ආයතන සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාරිනි Margaret Satterthwaite විසින් යෝජිත වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ කනස්සල්ල පළ කර ඇති බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

මෙතරම් වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා පැහැදිලි ජනවරමක් තිබිය යුතුය යන්න බහුජන බලයේ ස්ථාවරය බවත් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජනතාව වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින්, මෙම වෙනස සඳහා සෘජු මැතිවරණ ජනවරමක් පවතින්නේද යන්න පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතුවන බවද බහුජන බලය පෙන්වා දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත 22 වන සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එහි යම් විධිවිධාන සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යද යන්නත් තීරණය කරන ලෙස බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

බහුජන බලය ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවන බවත් ඕනෑම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ජනතාවගේ අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන ආකාරයෙන් සිදුකිරීම තහවුරු කිරීම සිය සංවිධානයේ අදහස බවද අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට අයත් ලේඛනයක් නොවන අතර එය රටේ ජනතාව සතු උත්තරීතර නීතිය වන බැවින් එය වෙනස් කරන සෑම අවස්ථාවකම අවසාන වශයෙන් ආරක්ෂා විය යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයයි බවද බහුජන බලය අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments