Monday, October 7, 2024
Homeදේශීය6,83,000කට අස්වැසුම ලැබෙයි: පිරිසක් හිස් අතින් යති

6,83,000කට අස්වැසුම ලැබෙයි: පිරිසක් හිස් අතින් යති

අස්වැසුම වැඩසටහනට තෝරාගත් ප්‍රතිලාභී පවුල් 7,91,000ක් වෙනුවෙන් බැංකුවලට මුදල් ලබා දී ඇතැයි ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න ඊයේ (අගෝ. 29) පැවසීය.

ඉන් ප්‍රතිලාභීන් 6,83,000කගේ ගිණුම්වලට මුදල් බැරකර තිබෙන බව ත්, ඒ අනුව ඔවුන්ට ගැටලුවකින් තොරව දීමනාව ලබාගත හැකි බව ත් සභාපතිවරයා සඳහන් කළේ ය.

ලක්ෂයකට ආසන්න ඉතිරි දීමනාලාභීන්ගේ තාක්ෂණික අඩුපාඩුවලට ලක්ව ඇති තොරතුරු නිවැරදි කිරීමට භාර දී තිබෙන බව ත්, එය නිවරදි වූ විට ඉදිරි දින දෙක තුන ඇතුළතදී ඔවුන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මේ බව කීවේය.

අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන දෙකක් අතරින් හඳුනාගත් ඉතිරි දීමනාලාභීන්ගේ ජූලි මාසයේ දීමනා මුදල් සැප්තැම්බර් 15 වන දා වනවිට ලබා දීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

එසේ ම තාක්ෂණික දුර්වලතාවන් හේතුවෙන් ප්‍රතිලාභීන් ලක්ෂ පහකට බැංකුවලට මුදල් ලබා දීමට නොහැකි වී තිබෙන බව ත්, එය ක්‍ෂේත්‍රය තුළ සිදුකරන කාර්යයකට වඩා කාර්යාලය තුළ සිදුකරන කටයුත්තක් බැවින් කෙටිකාලයකදී නිවැරදි කිරීමට පියවර ගන්නා බව ත් හෙතෙම සඳහන් කළේ ය.

මීට අමතරව අභියාචනා හා විරෝධතා ලෙස ලැබුණු ඉතිරි පිරිස පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නායකත්වය යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් අභියාචනා විභාග කිරීම් ආරම්භ කරන තිබෙන බව ත්, ඔවුන්ගේ ප්‍රතිඵල ලැබුණු වහා ම සැප්තැම්බර් වනවිට මුදල් ලබා දිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ සියලු දෙනාට එකවර මුදල් ලබා දිය නොහැකි බව ත්, ජූලි මාසයේ මුදල් පළමුව ලබා දීමෙන් අනතුරුව ක්‍රමානුකූලව ඉතිරි මාසවල දීමනා මුදල් ලබා දෙන බව ත් පැවැසූ විජේරත්න මහතා මෙම කරුණ නිසි පරිදි සන්නිවේදනය නොවුණහොත් ජනතාව තුළ වැරදි අවබෝධයක් හටගනු ඇතැයි කීවේ ය.

ඒ අනුව, ඉවසිලිමත්ව මෙම වැඩසටහනට සහය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසූ හෙතෙම යම් අයෙකු හිමිකමක් නොමැති ප්‍රතිලාභයක් ලබා ගෙන තිබේ නම්, එම ප්‍රතිලාභය අත්හිටුවා නැවත අයකර ගැනීමට පියවර ගන්නා බව සඳහන් කළේ ය.

මේ අතර, අස්වැසුම දීමනා මුදල් බැංකු වෙත ගොස් ලබා ගන්නා ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු රජයේ ප්‍රධානීන් සිදුකළ දැනුම් දීම මත ඊයේ (අගෝ. 29) බැංකු වෙත පැමිණිය ද ඇතැම් දීමනාලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කර නොතිබීම හේතුවෙන් හිස් අතින් නිවෙස්වලට යාමට සිදු විය.

සඳුදා දිනයේදී බැංකු වෙත රුපියල් මිලියන 500ක් ලබා දෙන බව ත්, දීමනාලාභීන්ට එම මුදල් අඟහරුවාදා ලබා ගැනීමට හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉරිදා දිනයේදී මාධ්‍යය ඔස්සේ දැනුම් දුන්නේ ය. ඒ අනුව අස්වැසුම දීමනා ලැබීමට සුදුසුකම් ලැබූවන් උදෑසන ම බැංකු වෙත පැමිණිය ද කොටසකට පමණක් මුදල් බැර කර තිබෙන බව දැනගන්නට ලැබීමෙන් ඔවුන් කනගාටුවෙන් යුතුව එම ස්ථානවලින් ඉවත්ව යන ආකාරය දැකිය හැකි විය.

ශුභසාධන ප්‍රතිලාභී මණ්ඩලය දීමනාලාභීන් ලක්ෂ 15න් ලක්ෂ අටකගේ තොරතුරු පමණක් මේ වනවිට තහවුරු කරගෙන තිබෙන බව ත්, ඒ අනුව මහ භාණ්ඩාගාරය දීමනාලාභීන් ලක්ෂ අටකට සඳුදා දිනයේදී මුදල් ලබා දෙන බව ත් සේමසිංහ මහතා ඉරිදා ප්‍රකාශ කළේ ය.

ඉතිරි දීමනාලාභීන්ගේ තහවුරු කර ගැනීම් සිදුකළ පසුව අදියර වශයෙන් මුදල් ලබා දීම් සිදුකරන බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments