කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව – සාලමුල්ල ‘ලක්සඳ සෙවණ’ සහ මාදම්පිටිය – තොටලඟ ‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණවල දිගුකාලීනව පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු පාර්ලිමේන්තු හා කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා (19) එම ස්ථාන නිරීක්ෂණය කළහ.
මෙහිදී පියගැටපෙල, විදුලි සෝපාන පද්ධතිය, ජල හා විදුලි සැපයුම්, මලාපවහන පද්ධතිය, දෛනික කසළ බැහැර කිරීම, ආරක්ෂාව, මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ගොඩනැගිලි ඉරි තැලීම්, ජල කාන්දු සහ පලුදුවීම් වැනි ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. අනතුරුව රාජ්‍ය නිලධාරීන්, මහල් නිවාස හිමියන්ගේ සමිති නියෝජිතයින් සහ නිවාසලාභීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විණි.
වසර පහකින් ප්‍රතිසංස්කරණයට ලක් නොවී ඇති තොටලඟ නිවාස සංකීර්ණයේ සේවා ව්‍යූහය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන පියවර සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කෙරිණි.
මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මහල් නිවාස සංකීර්ණ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා නිවැරදි විසඳුම් සෙවිය යුතු බවයි. ඉරි තැලීම්, ජල කාන්දු ඇතුළු අවදානම් තත්ත්ව පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට හා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට ඔහු උපදෙස් ලබා දුන්නේය.
තවද, තිරසර නාගරික සංවර්ධන වැඩපිළිවෙලක් සඳහා රජය සැලසුම් සකස් කර ඇති අතර, ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය මැදිහත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මහල් නිවාස නවාතැන් සඳහා පමණක් නොව, ආකර්ශණීය හා සුන්දර පරිසරයක් තුළ ජීවත් වීම සඳහා මානව ආකල්ප වෙනස් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
පවතින ගැටලු සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහා 2026 ජනවාරි 06 වන දින නිලධාරීන් සහ නිවාස සංකීර්ණ නියෝජිතයින් එක්ව නැවත සාකච්ඡා පැවැත්වීමට සියලු පාර්ශව එකඟතාවයට පැමිණියහ.

