ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින්, තම මාමණ්ඩියට අයත් ඉඩමක සිදුකළ ගංජා වැටලීමකට සම්බන්ධ පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇත.
පහරදීමෙන් අනතුරුව සුසන්ත නම් එම පොලිස් නිලධාරියා මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 35 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් පවතී.
නිලධාරියා පවසන්නේ, රාජකාරිය නිමවා නිවස බලා යමින් සිටියදී වෙළඳසැලක් අසළදී මෙම පහරදීම සිදු වූ බවයි. එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවතා තිබූ අතර, මන්ත්‍රීවරයා පැමිණ “මට උඹව හම්බෙන්න ඕනෑ” යනුවෙන් ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.
එහිදී වචන කිහිපයක් හුවමාරු වූ පසුව, නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන් ලබාගෙන ඇති බවත්, යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ අවස්ථාවේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහරදුන් බවත් ඔහු චෝදනා කරයි.
පහරදීමෙන් පසු දෑස් නොපෙනී ගිය අතර, එම අවස්ථාවේ ඉන්දික, චාමර, ළහිරු සහ ගුණතිලක යන අයද එහි සිටි බවටත්, වාහනය තුළ තවත් පුද්ගලයින් සිටි බවටත් ඔහු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් 118 සහ 119 හදිසි ඇමතුම් අංශ වෙත දැනුම්දුන් නමුත්, මේ වනතෙක් පොලිසිය තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවද ඔහු කියා සිටී.
පහරදීමෙන් අනතුරුව කොලොන්න රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු තමන් බැලීමට පැමිණි බවද ඔහු සඳහන් කළේය.
තවද, බයිපාස් ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් මෙම පහරදීමෙන් පසු පපුව, හිස සහ දෑස්වල දැඩි වේදනාවක් පවතින බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

