2016 ජනවාරි 01 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය නිලධාරීන් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වූ 2016 අයවැය යෝජනාවකට අනුව, 2016 ජනවාරි 01 දින සිට රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ සියලුම නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල
“මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.”
යන විධිවිධානය ඇතුළත් කර තිබුණි.
කෙසේ වෙතත්, 2016 ජනවාරි 01 දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොතිබීම හේතුවෙන්, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කිරීම සඳහා 2026 අයවැය මඟින් සංශෝධනයක් යෝජනා කර ඇත.
ඒ අනුව, 2016 ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය
“මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට හෝ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය විසින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.”
ලෙස සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

