Thursday, February 12, 2026
Homeදේශපාලනඅභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු අද (21) සවස 4.00ට වාද්දුව වේරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මුලින් දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද, එය භූමදානය කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ නැඟණිය වන මංගලා කරුණාතිලක මහත්මිය සඳහන් කළාය.

කලක් රෝගාතුරව සිටි නන්දන ගුණතිලක මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වැනිදා අලුයම අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට ඔහු 63 වන වියේ පසුවිය.

1962 සැප්තැම්බර් 7 වැනිදා පානදුර ප්‍රදේශයේ උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයෙකු වන අතර, 1999 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් විය.

2009 වසරේ එක්සත් ජනතා නිදහස් සංධාන රජය යටතේ සංචාරක අමාත්‍ය ධූරයත්, වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරයත් ඔහු විසින් දරනු ලැබීය.

පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලන කටයුතු සිදු කළ නන්දන ගුණතිලක මහතා, එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ධූරයේද කටයුතු කළේය.

වත්මන් රජය විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව ද ඔහු අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments