උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබාදෙන තීන්දු තීරණ මෙරට යුක්තියේ ස්වභාවය, ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය අධිකරණ කටයුතු සඳහා යළි භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.
උපරිමාධිකරණයේ මුල් ව්‍යුහය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණයෙන් යුත් ත්‍රිපුද්ගල, පංචපුද්ගල, සත්පුද්ගල සහ නවපුද්ගල විනිශ්චයාසන සඳහා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක් එක් කර ඇත.
එමෙන්ම විනිසුරුවරුන් සඳහා නව නිල කාමර 20ක්, කාර්ය මණ්ඩල පහසුකම්, විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක් ඇතුළු පහසුකම් සපයා ඇති අතර, ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අති නවීන පාලක මැදිරියක්ද ස්ථාපිත කර ඇත.
“අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වේ,” යැයි අගමැතිවරිය පැවසීය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං සහ නීතිපති පරින්ද රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

