Saturday, March 14, 2026
Homeසියලුම පුවත්දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට...

දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නැගෙනහිර පළාතේ මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඇති, සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතාන ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු ගම්වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළ බව අධිකරණ වාර්තා අනාවරණය කරයි.
මෙම පරීක්ෂණය යටතේ ගමේ මුල් පදිංචිකරුවන් හඳුනාගෙන ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීම හෝ සුදුසු වන්දි ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව සඳහන් කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා, පරීක්ෂණය අවසන් වන තෙක් ගම්වැසියන්ට දැනට පදිංචි ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත් ඔවුන්ට පිළිගත හැකි සහනයක් ලබාදිය යුතු බවත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ගේ එකඟතාව මත මෙම පෙත්සමේ විභාගය අවසන් කිරීමට තීරණය කළ අතර, පරීක්ෂණයෙන් අනතුරුව නිසි සහන නොලැබුණහොත් නඩුව යළි කැඳවිය හැකි බවද දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments