රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පාර්ලිමේන්තු ව්‍යවසාය කාරක සභාව වෙතින් ලැබෙන පැමිණිලි පිළිබඳ මූලික විමර්ශන සිදු කිරීම එම අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැවරී ඇත.
එහෙත්, රජයේ ආයතනවලින් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ඒකකයේ විමර්ශන නිලධාරීන් 20 දෙනෙකු පමණක් සේවය කිරීම හේතුවෙන් සියලුම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කිරීමට ඇති හැකියාව සීමිත වී තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් අතරින් තෝරාගත් පිරිසක් සමඟ නව මූලික විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම වැඩසටහන යටතේ තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකු කණ්ඩායම් තුනක් ලෙස වෙන් කර ඔවුන් සඳහා දින 14ක පුහුණු වැඩසටහන් පැවැත්වීමටද කටයුතු කර තිබේ.
එහි පළමු කණ්ඩායම සඳහා පුහුණුව 2026 පෙබරවාරි 05 වනදා ආරම්භ කර ඇති අතර එය සාර්ථකව අවසන් කළ නිලධාරීන් 42 දෙනෙකුට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය නාරාහේන්පිට නිල මැදුරු ශ්‍රවණාගාරයේදී, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

