ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇති අතර, ඇතැම් මුහුදු ප්‍රදේශවල වැසි, තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හැකියාව පවතී.
සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන බව සඳහන් වේ. කෙසේවෙතත්, කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බවද අනතුරු අඟවා ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි.
එමෙන්ම බෙංගාල බොක්ක සහ ආරාබි මුහුද ආශ්රිත ප්‍රදේශ සඳහා ඉදිරි දින තුන තුළ බලපැවැත්වෙන තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ විශේෂ අනාවැකියක්ද නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24ට මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

