තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අංගමුව ජලාශය ජල මූලාශ්‍රය ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ලබාදීමයි. ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්පූර්ණයෙන්මත්, තලාව සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටස් කිහිපයක්ද ආවරණය කෙරේ.
ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය කරන මෙම ව්‍යාපෘතියෙන් පුද්ගලයන් 91,810 දෙනෙකුට ප්රතිලාභ හිමිවන අතර, නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම හරහා දහස් සංඛ්‍යාත පවුල්වලට විශ්වාසනීය හා ගුණාත්මක පානීය ජල පහසුකම් සැපයීමට හැකිවී ඇත.
මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරන අතර, ග්‍රාම නිලධාරී වසම් 119ක් එහි ප්රතිලාභ ලබයි. 2034 වසර වන විට පුද්ගලයන් 170,951 දෙනෙකුට ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක ලෙස සැලසුම් කර තිබේ.
ඉහළ ෆ්ලෝරයිඩ් අන්තර්ගත භූගත ජලය භාවිතය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන් නිදන්ගත වකුගඩු රෝගය අවම කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැදගත්කමකින් යුත් සංවර්ධන ව්‍යාපෘතියකි.

