Homeසියලුම පුවත්අයතුල්ලා අලි කමේනිගේ දේහය මෂ්හද්හිදී මිහිදන් කෙරේ

අයතුල්ලා අලි කමේනිගේ දේහය මෂ්හද්හිදී මිහිදන් කෙරේ

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය, ශියා මුස්ලිම්වරුන්ගේ අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී අවසන් ගෞරව සහිතව මිහිදන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සව සහ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් අවමංගල්‍ය කටයුතු සිදුකර මෙම දේහය භූමදානය කර ඇති බවද වාර්තා සඳහන් කරයි.

මේ අතර, අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන කාලය තුළ අමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බවත්, එය කලාපයේ පවතින ආතතිය තවදුරටත් උග්‍ර කළ හැකි බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

අයතුල්ලා අලි කමේනිගේ මරණයට හේතු වූ ගැටුම අවසන් කිරීම සඳහා ඇතිව තිබූ මූලික එකඟතාවන්ටද මෙම නව ප්‍රහාර හේතුවෙන් බලපෑම් එල්ල විය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය චෝදනා කර ඇත්තේ, අවමංගල්‍ය කටයුතුවලට බාධා කිරීමේ අරමුණින් ටෙහෙරානය සහ මෂ්හද් සම්බන්ධ කරන දුම්රිය මාර්ගයේ පාලම් දෙකකට අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයේ පිහිටි නිවසකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පුත් මොජ්තාබා කමේනි උත්තරීතර නායක ධුරයට පත්කර ඇති අතර, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බවට වාර්තා වීමෙන් අනතුරුව ඔහු තවමත් මහජනතාව ඉදිරියේ පෙනී සිට නොමැති බවද සඳහන් වේ.

එසේම ටෙහෙරානය සහ කොම් නගරවල පැවැති අවමංගල්‍ය උත්සවවලට මොජ්තාබා කමේනි සහභාගි නොවූ අතර, මෂ්හද්හි පැවැති දේහය මිහිදන් කිරීමේ අවස්ථාවටද ඔහු සහභාගි වූ බවට නිල වශයෙන් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අද උදෑසන ඉරාකයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයක් මඟින් අයතුල්ලා අලි කමේනි, ඔහුගේ මිණිබිරිය, බෑණනුවන්, දියණිය සහ මොජ්තාබා කමේනිගේ බිරිඳගේ දේහයන් මෂ්හද් නගරය වෙත රැගෙනවිත් අවසන් ආගමික කටයුතු සඳහා යොමු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments