අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වී අධිකරණයෙන් සිරදඬුවම් නියම කළ පසු සැඟව සිටි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නඩුවේ තීන්දුව අනුව ඔහුට වසර තුනක සිරදඬුවමක් නියම කර තිබූ අතර, එම තීන්දුවෙන් පසු මහනුවර මාරස්සන ප්රදේශයේ පිහිටි තම නිවසෙන් ඉවත්ව සැඟව සිට ඇති බව වාර්තා වේ.
ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයක ප්රතිඵලයක් ලෙස, ඊයේ (9) කිරිල්ලවල, ඉඹුල්ගොඩ ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් සමත් වූ බව සඳහන් වේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ මූලික ප්රශ්න කිරීම්වලදී සැකකරු ප්රකාශ කර ඇත්තේ පොලීසියෙන් ලැබුණු උපදෙස් අනුව තමන් වරින් වර පදිංචි ස්ථාන වෙනස් කරමින් සැඟව සිටි බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

