Homeසියලුම පුවත්වී මිලදී ගැනීම් සඳුදා සිට ඇරඹේ - වී අලෙවි මණ්ඩලය

වී මිලදී ගැනීම් සඳුදා සිට ඇරඹේ – වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලය මඟින් 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන එළැඹෙන සඳුදා (13) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, මේ දිනවල වැඩි වශයෙන් අස්වනු නෙලන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වී ගබඩා විවෘත කර මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.

උතුරු, නැගෙනහිර සහ අම්පාර දිස්ත්‍රික්කවල මේ වන විට වී අස්වනු නෙලීම වේගවත් වී ඇති බැවින්, මුල් අදියරේදී එම ප්‍රදේශවලින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

මෙවර රජය නියම කර ඇති සහතික මිල අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගැනීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සූදානම් කර ඇති අතර, දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා හරහා වී මිලදී ගැනීම සිදුකිරීමට සැලසුම් කර තිබේ. එම ගබඩා සම්පූර්ණයෙන් පිරී ගියහොත්, අසල පිහිටි පෞද්ගලික ගබඩා භාවිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක ප්‍රතිපාදන ලබාදී ඇති අතර, ඊට අමතරව ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක් වෙන්කර තිබේ. එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැලසෙන බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මෙවර ඔඩපන ණය සඳහා සුදුසුකම් සපුරන සමූපකාර සංගම්ද ඇතුළත් කර ඇති බවයි. එසේම, රජයේ ආරක්ෂණ වී තොග සඳහා ප්‍රමිතිගත වී පමණක් මිලදී ගන්නා අතර, තෙතමනය සියයට 14ට නොවැඩි වීම සහ බොල් ප්‍රතිශතය සියයට 9ට අඩු වීම ඇතුළු තත්ත්ව ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණක් වී භාරගන්නා බවද ඔහු අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments