Homeසියලුම පුවත්මැදපෙරදිග උණුසුම් තත්ත්වයත් සමඟ ලෝක බොරතෙල් මිල ඉහළ යයි

මැදපෙරදිග උණුසුම් තත්ත්වයත් සමඟ ලෝක බොරතෙල් මිල ඉහළ යයි

මැදපෙරදිග කලාපයේ යළිත් උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 9කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 7.29කින්, එනම් සියයට 9.59කින් ඉහළ ගොස් ඩොලර් 83.30ක් දක්වා වර්ධනය වී තිබේ.

එමෙන්ම, WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 6.73කින් හෙවත් සියයට 9.42කින් ඉහළ ගොස් ඩොලර් 78.14ක් ලෙස සටහන් වී ඇත.

මෙම වර්ධනයත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ විශාලතම එක්දින ඉහළ යාම ලෙසත්, ජූනි 12 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිල ලෙසත් සැලකෙන බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානය ප්‍රකාශ කර ඇත්තේ එම මුහුදු මාර්ගය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකාවට මැදිහත් වීමට ඉඩ නොදෙන බවයි. අවසරයකින් තොරව එම ප්‍රදේශය හරහා යාත්‍රා කිරීමට දරන ඕනෑම උත්සාහයකට ප්‍රතිචාර දක්වන බව ද ඉරානය අවධාරණය කර තිබේ.

අනෙක් අතට, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කිරීම සඳහා ගාස්තු අය කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. එවැනි අනිවාර්ය ගාස්තු පැනවීම සඳහා නීතිමය පදනමක් නොමැති බව ද එම නියෝජිතායතනය පෙන්වා දී ඇත.

පෙබරවාරි මාසයේ අවසානයේ ගැටුම් උත්සන්න වීමට පෙර, ලෝකයේ දෛනික බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් ආසන්න වශයෙන් පහෙන් එකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු බව සඳහන් වේ.

ජූනි මාසයේදී ඇති වූ සටන් විරාමයෙන් පසු නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, නව නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ එම ප්‍රවාහන කටයුතු යළිත් මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments