2026 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුළ මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු 4,672ක් ගොනු කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම හෝ එවැනි තත්ත්වයන් ඇති වන ලෙස පරිශ්‍ර අපිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත අනුව, මදුරුවන් බෝවන පරිසරයක් පවත්වාගෙන යන ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කිරීමේ නීතිමය බලය සෞඛ්‍ය අංශ වෙත පවතින බවද නිවේදනයේ දැක්වේ.
රතු නිවේදනයක් නිකුත් කළ පසු එහි සඳහන් උපදෙස් නියමිත කාලය තුළ ක්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට එරෙහිව එම පනතේ 6 වන වගන්තිය යටතේ නීතිමය පියවර ගත හැකි අතර, ඒ සඳහා උපරිම රුපියල් 25,000ක දඩ මුදලක් නියම කළ හැකි බවද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

