පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පේරු බලධාරීන්ගේ තොරතුරු උපුටා දක්වමින් වාර්තා සඳහන් කළේ, සෙස්නා C-208 වර්ගයේ ගුවන් යානයක් මෙම අනතුරට ලක්ව ඇති බවය.
අනතුර සිදුවන අවස්ථාවේ යානය නස්කා රේඛා පුරාවිද්‍යා කලාපයට ඉහළින් පියාසර කරමින් සිට ඇති බවද සඳහන් වේ.
ගුවන් යානයේ මගීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සිට ඇති අතර, අනතුරින් ඔවුන් සියලුදෙනාම මියගොස් තිබේ.
මෙම අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේරු බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

