බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවකින් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
බන්ධනාගාර පරිශ්‍රයට පිටතින් විසිකළ හෙරොයින් සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධියක් මෙම නොසන්සුන්තාවට මුල් වී ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ රැඳවියන් පිරිසක් නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර, පසුව රැඳවියන් 45ක පමණ පිරිසක් සිරමැදිරියක් කඩා පිටතට පැමිණ තිබේ. පොලීසිය සඳහන් කරන්නේ එම පිරිසෙන් බහුතරය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කොස්මල්ලි” නමැත්තාගේ සහායකයින් බවයි.
ගැටුම අතරතුර මියගොස් ඇත්තේ හෝමාගම, කටුවන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති රැඳවියාය.
ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක් සහ මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකු බව පොලීසිය පවසයි.
එමෙන්ම “හෝමාගම හඳයා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙකු ලෙසද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ගාල්ල, අම්පාර, මීගමුව සහ හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක ඔහුට එරෙහිව නඩු පවතින බව සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකර තිබේ. ගැටුම මෙහෙයවූ බවට සැක කෙරෙන රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමටද පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

