අමානුෂික ලෙස පහරදීමෙන් පසු පාළු ස්ථානයක අතරමංකර දමාගොස් සිටි අවුරුදු 4ක් පමණ වයසැති දැරියක් අද (13) වත්තේගම යටිරාවණ මාර්ගයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් දැරිය පොලිස් භාරයට ගෙන ඇත.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පෙරවරු 7ට පමණ දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.
දැරිය රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දැරියට තම පවුලේ සාමාජිකයන් හෝ ඇය පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීමට නොහැකි බව පොලීසිය පවසයි.
තුවාල ලබා සිටි දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

