ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම සඳහා සතියක කාලයක් හිමි වේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලය තුළ සිය තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත.
එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට නියමිතය.
මේ අතර, මෙම පනත් කෙටුම්පත් දෙක පළමු වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර තිබේ.
ඊයේ (17) පස්වරුවේ පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

