Homeසියලුම පුවත්දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් පැවති විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (04) අවසන් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී යොමු කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර, ඒවා දින දෙකක් පුරා ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබුණි.

අද දිනයේ වාචික කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව, ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය පාර්ශ්වයන්ට සෙනසුරාදා පස්වරු 12.00ට පෙර ඒවා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඉන් අනතුරුව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මීඩියා ලෝ ෆෝරම් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ඇතුළු පාර්ශ්ව 15ක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ අදාළ සංශෝධිත පනත් කෙටුම්පත හරහා අධිකරණ බලයට බලපෑමක් එල්ල වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඒ අනුව එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments