තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටියදී නාවික හමුදාව විසින් මුදාගත් පිරිස 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (05) පස්වරුවේ එහි සිටි තවත් තිදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ එම සංඛ්‍යාව 11ක් වී ඇත.
මුදාගත් තිදෙනා අතර පියෙකු සහ ඔහුගේ වයස අවුරුදු 11ක් හා 13ක් වන දරුවන් දෙදෙනෙකුද සිටින බව සඳහන්ය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බවයි.
තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී මෙම පිරිස නිරීක්ෂණය වී ඇති අතර, පසුව ඔවුන් මුදාගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ළමුන් පස්දෙනෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන ඇත.
මුදාගත් පිරිස ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.

