ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන් කළේය.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.
1956 අංක 47 දරන පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එම පනත යටතේ සිදුවන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ හා ආර්ථික තත්ත්වයන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බැවින් ඒවා සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, පනත යටතේ වන වැරදි සඳහා අදාළ දඩ මුදල් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසේ.
කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ මෙම පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

