Homeසියලුම පුවත්ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත වී තිබේ.

අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ඒ මහතා වෙත ශ්‍රී ලංකා යුද හමුදා සම්ප්‍රදායට අනුව ආචාර සම්මාන මුරයක්ද පිරිනමා තිබේ.

එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.

විශේෂයෙන් අභියෝගාත්මක සහ හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් අඛණ්ඩ සහයෝගය හා උපකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාවද ඒ මහතා පළ කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ලැබුණු සුහද පිළිගැනීම පිළිබඳව සතුට පළ කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, දෙරට අතර පවතින ඓතිහාසික හා නොබිඳුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියේදී ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැපවන බව ප්‍රකාශ කර ඇත.

මෙම නිල හමුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මෙන්ම අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඉන්දීය නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments