රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (09) රාත්‍රී 10.50ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මෙම කාන්තාවන් තිදෙනා, පැමිණීමේ පර්යන්තයේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ඔවුන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ මරිජුවානා ග්‍රෑම් 803ක් සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තලපයක් ලෙස සකස් කර, ගුලි 11ක් ලෙස කළු පැහැති සෙලෝටේප් යොදා පිටතට කාන්දු නොවන ආකාරයෙන් සකස් කර සඟවා තිබූ බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් කොළඹ 13, කල්පිටිය සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචි 34, 37 සහ 54 හැවිරිදි අය බව සඳහන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා අදාළ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

