Homeසියලුම පුවත්2015න් පසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කර නැහැ - GMOA

2015න් පසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කර නැහැ – GMOA

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වර්ෂයෙන් පසු මේ දක්වා පූර්ණ ලෙස සංශෝධනය කර නොමැති බැවින් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ ආසන්න තත්ත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ දශක ගණනාවක් පුරා අඩු වියදමකින් ඉහළ ඵලදායිතාවක් පෙන්වමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ මෙරට සෞඛ්‍ය සේවය මේ වනවිට පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිසි ප්‍රමිතියෙන් හා අවශ්‍ය සංඛ්‍යාවෙන් පවත්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසර පහකට වරක් කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කළ යුතු වුවද, දිවයිනම ආවරණය වන පරිදි අවසන් වරට පූර්ණ මට්ටමින් එම සංශෝධනය සිදුකර ඇත්තේ 2015 වසරේදී බව GMOA පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගිය දශකය තුළ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව, ශල්‍යකර්ම සහ අනෙකුත් වෛද්‍ය ක්‍රියාපටිපාටි මෙන්ම සිදුකරන පරීක්ෂණ ප්‍රමාණයද විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම සංගමය සඳහන් කරයි.

නව රෝහල් සහ සෞඛ්‍ය සේවා ඒකක ස්ථාපිත කිරීමත්, ප්‍රතිකාර සේවාවන්හි සංකීර්ණතාව සහ නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය ඉහළ යාමත් සිදුව තිබුණද, ඒ සියල්ල 2015 වසරේ පැවති පැරණි අනුමත කාර්ය මණ්ඩල සීමාවන් මත සිදුවන බවද ඔවුන් පවසයි.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, විශේෂයෙන් පසුගිය ආර්ථික අර්බුදය සමයේ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් දහස් ගණනක වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවයට අහිමි වී ඇති බවත් GMOA සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා කළද, මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම සංගමය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදී තිබුණද, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොමැති බව GMOA පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සති දෙකකට පමණ පෙර තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ විමසීම් කළද, මේ දක්වා සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවද එම සංගමය සඳහන් කරයි.

වත්මන් රජය යෝජනා කරන සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයන් සහ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුහුණු කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය බැවින්, වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව GMOA වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments