22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ වත්මන් රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය දුර්වල කරමින් තනි පක්ෂ පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් පැවතියද ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් අහිමි කිරීමට ඉඩ නොදෙන බවත්, 22 වැනි සංශෝධනයට එරෙහිව ප්‍රථමයෙන්ම නැගී සිටියේ සමගි ජන බලවේගය බවත් ඔහු පැවසීය.
රජයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සියලු ප්රගතිශීලී ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, ආණ්ඩුවේ පාලනයට එරෙහි ප්රබලතම පියවර සැප්තැම්බර් 24 වැනිදා තබන බවද වැඩිදුරටත් කියා සිටියේය.

