ඉදිරියේදී ඇතිවිය හැකි වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් සතියක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයකම සිදුකරන කීට සමීක්ෂණවලදී තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීමට හැකිව ඇති බවයි.
පසුගිය කාලයේ පැවති ඩෙංගු අධි අවදානම් තත්ත්වය මේ වන විට යම් මට්ටමකින් අඩු වී ඇති බවත්, ඒ සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව ලබාදුන් සහයෝගය වැදගත් වූ බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපයේදී ඇතිවිය හැකි වැසි තත්ත්වයන් හේතුවෙන් ඩෙංගු යළි හිස එසවීමේ හැකියාවක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
වැඩසටහන පළාත් 7ක, දිස්ත්‍රික්ක 15ක සහ කොළඹ නගර සභා සීමාව ඇතුළු ස්ථාන 16ක ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඊට ඇතුළත් වේ.
එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් සඳහා කණ්ඩායම් 10 බැගින් යොදවා ඇති අතර, එක් කණ්ඩායමකට සෞඛ්‍ය සේවකයෙකු, හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු සහ ස්වේච්ඡා සේවකයින් ඇතුළත් වේ.
මේ අතර වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,484 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,786කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,311 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 35ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

