භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.
එමෙන්ම අදාළ බැංකු නිලධාරීන් සේවය කළ බැංකු ශාඛාවට සහ එහි ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම වළක්වාලමින් තවත් නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරික මොහොමඩ් ජිෆ්රිගේ ඇප ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා සහ තවත් සැකකරුවෙකු ලබන 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

