මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව පවරා ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද (28) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03 වනදා කැඳවන ලෙස නියම කළේය.
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

