Homeසියලුම පුවත්පළාත් හයකට සහ අනුරාධපුරයට මි.මී. 100 ඉක්මවූ වැසි අවදානමක්

පළාත් හයකට සහ අනුරාධපුරයට මි.මී. 100 ඉක්මවූ වැසි අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකිය.

මේ අතර, කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20-30ක පමණ වේගයකින් හමා යා හැකිය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පැවතියද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60-70ක පමණ තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments