Tuesday, October 28, 2025
Homeදේශීයපොලිස් රාජ්‍යක අඳුරු සෙවනැලි ගැන සජබ නිවේදනයක් !

පොලිස් රාජ්‍යක අඳුරු සෙවනැලි ගැන සජබ නිවේදනයක් !

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ට එල්ල වී ඇති මරණීය තර්ජනය සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය වෙත කළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිමින් එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිස්පතිවරයාගේ ප්‍රකාශය තුළින් “පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත්, වින්දිතයා අපරාධකරුවෙකු බවට පත්කිරීමේත් උත්සාහයක්” මතු වන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

මන්ත්‍රීවරයාට දේශපාලනික නොවන කරුණු කාරණා මත තර්ජන එල්ල වී ඇති බවත්, ඔහු අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට සම්බන්ධ වී ඇති බවත් හැඟවෙන ලෙස පොලිස්පතිවරයා වක්‍රෝක්ති ප්‍රකාශ සිදු කිරීම, මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට එල්ල කරන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස සජබය හෙළා දකී.

පොලිස්පතිවරයාගේ වගකීම වන්නේ අදාළ කරුණු කාරණා කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම බවද එම නිවේදනයේ සඳහන් වේ.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා ප්‍රකාශ නිකුත් කිරීම, ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්න කරන බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

“ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරාදෙමින් පොලිස්පතිවරයාට සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියන් තුළ රට මර්දනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවනැල්ල අපි දකිමු” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන පොලිස් මෙහෙයුම් තුළින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන පටු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ජගත් විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ තීරණය ලඝු කිරීමට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද සමගි ජන බලවේගය අවධාරණය කර තිබේ.

මෙම අනතුර සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් තුළ ක්‍රියා කරන පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments