Friday, November 14, 2025
Homeදේශපාලනප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද සමාජයේ භීෂණය රජ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද සමාජයේ භීෂණය රජ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ කෑගල්ලේ මන්ත්‍රීවරුන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී ජනතාවට සේවාවක් කිරිමට වාතාවරණයක් සමාජයේ නොමැති බවට පැවසූ බවත් අද වන විට සමාජයේ භීෂණය රජ වී පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇති බවත් මේවා වළක්වාලන්න බැරි ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කොයිතරම් පුරසාරම් දෙඩුවත් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් මිනිසුන් අද ගෙදරින් එළියට බහින්නේ අවිශ්වාසයෙන් බවත් සවසට ගෙදර එන්න පුළුවන් ද කියන සැකයෙන් ජීවත් වෙන බවත් මේ මිනිමරු කල්ලි පාතාල කල්ලි ක්‍රියාත්මක කරන අපරාධ එන්න එන්නම වැඩි වී වාර්තා පිට වාර්තා තබා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාවනැල්ලේ දී සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කරන්න පෙර මාලිමා රජය ඔහුව දේශපාලනමය වශයෙන් ඝාතනය කළ බවත් පළමු සභා රැස්වීම පැවැත්විමට ඉඩ නොදීම, ජවිපේ මන්ත්‍රිවරුන් පැහැර ගත්තා යැයි බොරු චෝදනා කරමින් ව්‍යාජ රංගනයක් සිදු කිරීම, ජවිපේ මන්ත්‍රිවරයකුගේ ගෙදරට වෙඩි තැබුවා යැයි චෝදනා කළත් එම මන්ත්‍රිවරයා දුරකථනයෙන් පැවසූ ආකාරයට එම වෙඩි තැබිම සිදු කර ඇත්තේ ජවිපේ විසින්ම බවට අනාවරණය වූ බවත් මෙවැනි ගැටලු මැද තමාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් සිදු කර ආරක්ෂාව දෙන්න යැයි කිව්වත් පොලිසිය එය ද නොකළ බවත් මේ සෑම සිදුවීමක්ම පිටුපස ඇති එකම අරමුණ වන්නේ වැලිගම ප්‍රදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට ලබා ගැනීම බවත් මතුගම වෙන්නේත් ඒ දේම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වැලිගමයි මතුගමයි සිදුවීම් එක හා සමානයි.

ජගත් විතාන මහතාට පවා මේ මොහොතේ මරණ තර්ජන එල්ල වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ඔහුට ඇති මරණ තර්ජන ගැන පොලිසිය නොව අනාවරණය කළේ ජගත් විතාන මහතා බවත් මෙවැනි ගැටලු මැද පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ ජගත් විතාන මහතා අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ඇති බවත් වැලිගම සහ මතුගම සිදුවීම්වල ඇති පොදු දෙය වන්නේ මේ සභා දෙකේ බලය ජවිපේ විසින් ගැනිමට උත්සාහ කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි

රජයේ වගකීම සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම බවත්, නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිදලිම හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ජනතාව බලය දුන්නත් අද පාතාල කල්ලිවලට සමාජයේ බලය ලබා දීමට රජය වරම් දී ඇති බවත් ඒ සෑම දෙයකටම හේතුව රජයේ දුර්වල ප්‍රතිපත්තිය බවත් මේ එල්ල වන මිනිමරු ප්‍රහාර ඉදිරියේ අංක 1 විය යුත්තේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඊට පසු පළාත් පාලන හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මහජන සේවාව ඉටු කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් මේ ගැන අවස්ථා දෙකකදී කතානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නත් තවමත් පිළිතුරු නොමැති බවත්ය..

RELATED ARTICLES

Most Popular

Recent Comments