හෙරොයින් කිලෝ 152යි ග්‍රෑම් 341ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු චෝදනා තුනකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ පුද්ගලයන් පස්දෙනකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණය දුන් තීන්දුව ඊයේ (21) ස්ථිර කළේය.
ධීවර යාත්‍රාවකින් එකී මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී මාස ගණනාවක් පුරා සිදු කළ බුද්ධි විමර්ශනයකින් අනතුරුව නාවික හමුදා විසින් ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ 224ක ප්‍රමාණයක් සමග එම විත්තිකරුවන් පස්දෙනා 2019 දී අත්අඩංගුවට ගෙන තිබුණි.
එකී මත්ද්‍රව්‍ය තොගයේ ශුද්ධ මත්ද්‍රව්‍ය කිලෝ 152 කට අධික ප්‍රමාණයක් ඇති බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවලින් අනාවරණය වූ බැවින් නීතිපතිවරයා 2021 වසරේදී එම විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නඩු පවරීය. නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා සාක්ෂි විභාගය කැඳවීමෙන් අනතුරුව එකී චෝදනා තුනටම විත්තිකරුවන් සියලු දෙනා වරදකරුවන් බවට නිගමනය කර 2023/09/27 දින මරණ දඬුවම නියම කළේය.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ෂනිල් කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාවය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම තීන්දුව ඊයේ (21) නිකුත් කරනු ලැබීය.
එම විත්තිකරුවන් පස්දෙනා ධීවර රැකියාව කරන මුවාවෙන් දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ පැවසීය. රෝහණ ප්‍රනාන්දු, ආර්.ඒ.ඇන්ටන් නිෂාන්ත, දුලාජ් රවිඳු, එල්. සුරංග, අ.ජයමාල් යන විත්තිකරුවන්ට එලෙස මරණ දඬුවම නියම කෙරිණි. වැඩිම හෙරොයින් ප්‍රමාණයට අදාළව මහාධිකරණය විසින් ලබා දුන් ප්‍රථම නඩුව ද මෙය වේ.

