Friday, December 19, 2025
Homeදේශීයකුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ග යළි ගොඩනැගීමට චීනයෙන් සහාය

කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ග යළි ගොඩනැගීමට චීනයෙන් සහාය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය ජයගෙන ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වාං ඩොන්ග්මිං මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම අදහස් පළ කරනු ලැබුවේ, ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වාං ඩොන්ග්මිං මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවට සිදුවූ මෙම දරුණු ආපදා තත්ත්වය සම්බන්ධයෙන් චීන රජය සහ ජනතාව ගැඹුරු කණගාටුව පළ කරන බව සඳහන් කළ උප සභාපතිවරයා, ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා චීනය මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවද ඔහු පැවසීය.

මෙම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ චීන නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කරමින්, ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීනය විසින් ලබාදුන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය සහාය කෘතවේදීව අගය කළේය.

විශේෂයෙන් කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ආපදා තත්ත්වයෙන් පසු රජය ගත් මූලික පියවර ලෙස ජනතාව මුදා ගැනීම, සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ ආහාර, සෞඛ්‍ය ඇතුළු මූලික පහසුකම් සපයීම සිදු කළ බවත්, මේ වන විට ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.

මෙම හමුවට චීන ජාතික මහජන කොංග්‍රසයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද එක්ව සිටියහ. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments